Friday, June 27, 2014

දවසක..



ගං දිය දෙවුරින් වට වීලා
ගලනව පහලට රග දීලා
සිතුවිලි ගගදිය ලෙස වීලා
ගලනවා නුඹවට බෝ එතිලා

මදනල අහසින් පිය නගලා
දසත පුරාවට වී හමලා
සිතුවිලි මදනල ලෙස සරලා
දසත දිශාවෙම නුඹ රැදිලා

තුරු හිස් හිරු දෙස නෙත් යොමලා
දළු පුරනවා ඒ දෙසටම නැවිලා
මා නෙත් තුරු හිස් ලෙස වැඩිලා
නුඹ හිරු දෙසටම නෙත් බැදිලා

සේපාලිකා රෑ වියනක් පිපිලා
මුදු සුවදින් නොපෙනී ගලනා
සුවද දනිමි නුඹ ගුණ වරුනා
රුව නොදකිමි ඔය මට දුරිනා

මීදුම් සළු මුළු අහසම වහලා
සුදු පාටින් වට අවටින් රැදිලා
සිතුවිලි නැගි මීදුම් ලෙස ඉදලා
නුඹ රැදිලා හිත් අහසම පුරවා

වසත් කලට රූ තුරු මල් දරනා
නෙක පාටින්  සුවදින් පිපෙනා
හැමදා සිත් වසන්තයක් වීලා
පෙම් මල් පිපෙනව නුඹ හින්දා

ඇල දොළ හැම බාදක බිදලා
කෙදිනක හෝ දුර සයුරව දකිනා
දවසක මා සුදු මැණිකව දිනලා
අතැගිලි සිඹිනවා මුදුවක් තියලා

Tuesday, June 24, 2014

නුඹ මා පණ නළින්..



සුපුන් සඳ වට මේඝ මෙන්
තාලයට දුර පාවෙමින්
බොහෝ දුර සිතුවිලි වලින්
ඇවිද යමි නුඹ හා ලගින්..

දිය ඇල්ල ලඟ මීදුමෙන්
පින්න සදනා බිදිති මෙන්
විසිරෙනා නිති සතුටකින්
සිහින වල මා අවදියෙන්..

මිහිකතගෙ හිරු බෝ දුරින්
ගැවසෙතී දකිමින් තුටින්
ලෙසක මා හිද නුඹ නමින්
පෙම් බදිමි නුඹ මා පණ නලින්..

Saturday, June 21, 2014

කොපුල් පෙති පුරා.. රුවන් කැලුම් නිසා..



සිත පීදුන සිහිනෙක වල් වැදිලා
ඔය ලස්සන සිනහව නෙතු දැකලා
අහසෙම මල් පිපිලා
සුවදින් පෙති වැටිලා
ආදර වැස්සේ හිත තෙමුනා..

සිතුවිලි රහසේ රුව ඇදලා
හෙමිහිට පහසේ තුරුලු වෙලා
ලස්සන මතක් වෙලා
මැණිකට කවි ලියනා
ආදර වැස්සේ හිත තෙමෙනා..

මුව මද හාසය නෙතු බදිනා
කොපුලේ තොල් අග ස්වර රගනා
අන්සතු උව මෙදිනා
ලස්සන ගමි මතුදා
ආදර වැස්සේ හිත තෙමිලා..

Tuesday, June 17, 2014

පිණි වැස්ස..



 " අහස් පෙම් ගී රහස් කියලා
පොලෝ කොපුලී සෙමින් සිඹිනා
පෙම් කැලුම් වහිනවා.. ..
සිතුම් ආදර ගීත කියලා
දෙතොල් අද්දර හීන සිඹිනා
තනි පෙමක් ලියනවා.. ..  ''

Saturday, June 7, 2014

නුඹ වැඩියම හිත් අහසට



දිලෙනා එලි රෑ තරු කැට
ගත්තේ නැහැ උපමාවට
සොදුරු එලිය පිරි දෙනෙතට
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
දෙනෙත සිඹිනවා.. ..

තුහින මල් වහින අවටට
හිම කුමරි උපමා කුමකට
සිනහ මල බෝ අවිහිංසක
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
දෙතොල සිඹිනවා.. ..

රැදුන දෙකොපුලම පුරාවට
රෝස මල් රුවන් සිනාවට
තුසිත දෙව් ලොවෙන් ගෙනාවට
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
කොපුල සිඹිනවා.. ..